ඥානසාර හිමියන්ගේ ආගමික දැනුම - 02





සැකසුම: ඉබ්නු මන්සූර්

2016 ජුලි මස 10 වැනි දින ඉරිදා දිවයින පුවත්පතේ 20 වැනි පිටුවේ පළවී තිබු ඥානසාර හිමියන් විසින් සිරිමන්ත රත්නසේකර සමග කළ සාකච්ඡාවෙන් බුදු දහම පිළිබඳ ව උන්වහන්සේ විසින් ප්‍රකාශිත මතයන් ගැන විමසුමක් මෙයට පෙර ලිපියෙන් ඉදිරිපත් කළෙමු. බුදු දහම පිළිබඳ දැනුමකින් තොරව කළ උන්වහන්සේගේ ප්‍රකාශන එමගින් පැහැදිළි කරන්නට කටයුතු කළෙමු. පානදුරා වාදයකට සුදානම් වන උන්වහන්සේ නොන්ඩි අශ්වයෙකු බව සැමට අවබෝධ වන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. ජනයා මුලා කිරීමට කරන්නා වූ නන්දෙඩවිලි හා වාචාල කමින් බුද්ධිමය සංවාදයක් ජයගත නොහැකි බව බුද්ධිමත් ජනයා ඉතා හොඳින් දන්නා කරුණකි. උන්වහන්සේ ඉස්ලාමයට එරෙහිව කරන්නා වූ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශන මෙම ලිපිය මගින් විමර්ශනයට ලක් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම අසත්‍ය හා වංචනික ප්‍රචාර මගින් බෞද්ධ ජනයා උද්වේගයට පත් කොට එමගින් තම න්‍යාය පත්‍රානුකූල වැඩසටහන ඉදිරියට ගෙනයෑමේ අසාර්ථක උත්සාහයක උන්වහන්සේ නියැලී සිටින බව මෙම කරුණු මගින් සහතික වශයෙන් ම පැහැදිළි වනු ඇත.






ඉස්ලාමය පිළිබඳ මතයන් 

ප්‍රශ්නය – මරාගෙන මැරෙනවා යෑයි කියන ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්‌ නෙවෙයිද. ? විශේෂයෙන්ම ජනාධිපති උපදේශකවරයෙක්‌ වන මහජන නියෝජිතයකුයි එම ප්‍රකාශය කරන්නේ.

පිළිතුර – අපි ඒ දේ ගණන් ගන්නේ නැත්තේ ඇයි කියලනේ අහන්නේ. කොහොමත් කුරාණයේ තියෙන්නෙත් මරාගෙන මැරෙන්න කියලා තමයි.
ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ප්‍රකාශයත් බරපතළ ප්‍රකාශයක්‌.
පිළිතුර – නැහැ. කිසි බරපතළකමක්‌ නැහැ. මං කිව්ව කාරණය කුරාණයේ උගන්වනවා. අන්‍ය ආගමිකයන් භීතියට හා ත්‍රාසයට පත් කරලා ඔවුන්ගේ භූමිය දේපළ කොල්ලකෑම දෙවියන් වහන්සේගේ මහා කරුණාව ලබන්න හේතුවක්‌ බව කුරානයේ සඳහන්. එහෙම කළාම දිව්‍ය ලෝකයේදී කන්‍යාවියන් හැත්තෑ දෙදෙනකු ලැබෙනවා ආදී වශයෙන් දැක්‌වෙනවා. මේ අයට මරාගෙන මැරෙන එක ප්‍රශ්නයක්‌ නෙවෙයි. ඔවුන්ට කියාදුන් දේ තමයි කරන්නේ.
ප්‍රශ්නය – හාමුදුරුවෝ උත්සාහ ගන්නේ ඉස්‌ලාම් ධර්මය විවේචනය කරන එක සාධාරණීකරණය කරන්නද?
පිළිතුර – කොහෙත්ම නැහැ. ඉස්‌ලාම් ධර්මය මිථ්‍යාදෘෂ්ටිකයි. අපි ඒ ගැන ඕනෑම වෙලාවක සංවාදයකට ලෑස්‌තියි. එසේම එම ආගම ඉතාම දරුණු ගණයේ පැසිස්‌ට්‌ නාසිවාදී දේශපාලන ව්‍යාපාරයක්‌. එය ආගමක්‌ නෙවෙයි.
ප්‍රශ්නය – නමුත් ඉස්‌ලාම් ආගම සාමයේ ආගම කියා එම ධර්මය අනුගමනය කරන උදවිය පවසනවා.

පිළිතුර – අරාබි මුස්‌ලිම්වරු සහ මුස්‌ලිම් විද්වතුන් යෑයි කියා ගන්න අය එහෙම කියනවා. නමුත් එයත් සම්පූර්ණ මිථ්‍යාවක්‌. ඉස්‌ලාමය ගොඩනැඟෙන්නේ සියයට සියයක්‌ මුස්‌ලිම් පරිසරයක්‌ තුළ කියලයි ඔවුන්ගේ ඉගැන්වීම. අපි හොඳට කුරාණය ගැන දන්නවා. එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන කියන හාදිත්, සුන්නා හා අල්ටකියාව ගැනත් අපි දන්නවා. ඒකයි අපි කියන්නේ ඕනෑම දාර්ශනික සංවාදයකට අපි ලෑස්‌තියි කියලා.
ප්‍රශ්නය – නමුත්……..
පිළිතුර – ඒක තමයි අපි මේ වෙහෙසෙන්නේ. ගොදුරු කර ගනිමින් තිබෙන දේ ඊට කලින් බේරා ගන්න සැවොම එක්‌වෙන්න ඕනා. රටවල් යටත් කර ගන්න කුරාණය තුළ ප්‍රධාන ආයුධ තුනක්‌ තියෙනවා. ඉන් පළමුවැන්න අල්ටකියාවයි. බය නැතුව පත්තරේ ලියන්න. ඒකේ තියෙන්නේ ඉස්‌ලාමයේ අරමුණු ඉටු කරගන්නා තුරු ඉස්‌ලාම් නොවන සමාජය දිනා තබා ගෙන සිටීමයි. දෙවැන්න ෂරියා නීතිය, තුන්වැන්න ජිහාඩ්. මුස්‌ලිම් නොවන සමාජයට එරෙහි ශුද්ධ වූ සටන එයයි.
පැහැදිළි කිරීම 
අල් කුර්ආනයේ තියෙන්නේ මරාගෙන මැරෙන්නට යැයි උන්වහන්සේ ඉහත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත. මෙම සාකච්ඡාවේ දී තමන් කුර්ආනය ගැන හොඳ දැනුමකින් යුක්ත බවට ද ප්‍රකාශ කොට ඇත. එහෙයින් දහම් පිළිබඳ මුසාවාද ඇදබාන්නේ නැතිව මරාගෙන මැරෙන්නට අල් කුර්ආනයේ ඇති ඉගැන්වීම් හි මුලාශ්‍රයන් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන්නට කැමැත්තෙමු. ඉස්ලාමයේ ඉගැන්වීම් කිහිපයක් උන්වහන්සේගේ දැනගැනීම පිණිස පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. 
සියදිවි නසා ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් අනුව බරපතල පාපයකි. ජීවය ලබා දීම හා ආපසු ගැනීම මිනිසාගේ අයිතියෙන් බැහැර වූවකි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ‘යමෙක් යකඩ කැබැල්ලකින් (හෝ අන් මගකින්) සිය දිවි නසා ගත්තේ ද එම යකඩ කැබැල්ලෙන් ම ඔහුට නිරයේ දී දඬුවම් දෙනු ලැබේයැ’යි දක්වා ඇත.
මුස්ලිම් නොවන්නෙකු දුටු තැන මරා දැමීම අල් කුර්ආනයේ ඉගැන්වීමක් බව වැරදි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් සමහරු පවසති. ඉස්ලාමීය පිළිවෙත අනුව සැමට ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කොට ඇති අතර අල් කුර්ආනයේ වැකි පිළිබඳව නිවැරදි හා ගැඹුරු දැනුමකින් තොරව පතුරුවනු ලබන මෙවන් වැරදි මතයන් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. ත්‍රස්තවාදය යනු මිනිස් ඝාතන ක්‍රියාවලියකි. මිනිස් ඝාතන පිළිබඳව ඉස්ලාමීය ඉගැන්වීම් කුමක්දැ’යි පළමුව විමසා බලමු.
“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)
රටේ යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක සාධාරණ හා යුක්තිය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නියම කරනු ලබන තීන්දුවක් මත මිස මිනිසෙකුව නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් සංහතියම මරා දැමීම තරම් වූ බරපතල ක්‍රියාවක් ලෙස ඉස්ලාමය පෙන්වා දෙයි. 
අල් කුර්ආනයේ මෙවන් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් අන්තර්ගත වී තිබියදී අල් කුර්ආනය පිළිබඳව පරිපුර්ණ දැනුමකින් තොරව හා සන්දර්භයෙන් බැහැරව වැකියක් උපුටා දක්වමින් ජනයා නොමග යවන්නට කටයුතු කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද කියා අසන්නට කැමැත්තෙමු. සැබැවින්ම මෙලෙස අල් කුර්ආන් වැකි සඳහා අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම අන්ධයින් සතරදෙනා අලියා විග්‍රහ කිරීම හා සමාන නොවන්නේ ද? 
තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‘අන්‍ය ආගමිකයන් භීතියට හා ත්‍රාසයට පත් කරලා ඔවුන්ගේ භූමිය දේපළ කොල්ලකෑම දෙවියන් වහන්සේගේ මහා කරුණාව ලබන්න හේතුවක්‌ බව කුරානයේ සඳහන්’ බව උන්වහන්සේ දක්වා ඇත. මෙයද ඉතා වංචනික අයුරින් අල් කුර්ආනයේ ඉගැන්වීම් විකෘති කොට පෙන්වීමකි. 
ඉහත ප්‍රකාශනය සඳහා උන්වහන්සේ බොහෝ විට යොදාගෙන ඇත්තේ අල් කුර්ආනයේ 8 වැනි පරිච්ඡේදයේ 60 වැනි වැකිය යැයි අපට උපකල්පනය කළ හැක. 
“තවද ඔවුන් හා සටන් වැදීමට නුඹලාට හැකි පමණින් අධික ශක්තියෙන් සුදානමින් සිටින අශ්ව සේනාවත් රැස් කොට සන්නද්ධව සිටිනු. එමගින් අල්ලාහ්ගේ සතුරා ද නුඹලාගේ සතුරා ද නුඹලා නොදන්නා මොවුන් හැර වෙනත් (සතුරන්) ද නුඹලා විසින් බිය ගැන්විය හැක”. (අල් කුර්ආන් 8:60)
ඉහත වැකියේ නිවැරදි අර්ථය දැනගැනීම පිණිස එහි සන්දර්භය විමසා බැලිය යුතුව ඇත. 
“කිසියම් ජන කොටසකින් (ගිවිසුම්) කඩ කිරීම පිළිබඳ නුඹ බියවන්නේ නම් ඔවුන්ගේ (ගිවිසුම) ඔවුන් වෙත ඒ හා සමානව කඩ කර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් (ගිවිසුම්) කඩ කරන්නන් ප්‍රිය නොකරන්නේය” (අල් කුර්ආන් 8:58)
“ප්‍රතික්ෂේප කළ අය තමන් දිනුවා යැයි නොසිතිය යුතුය. නියත වශයෙන් ම ඔවුන් (හට අපව) පරාජය කළ නොහැකිය”. (අල් කුර්ආන් 8:59)
“තවද ඔවුන් හා සටන් වැදීමට නුඹලාට හැකි පමණින් අධික ශක්තියෙන් සුදානමින් සිටින අශ්ව සේනාවත් රැස් කොට සන්නද්ධව සිටිනු. එමගින් අල්ලාහ්ගේ සතුරා ද නුඹලාගේ සතුරා ද නුඹලා නොදන්නා මොවුන් හැර වෙනත් (සතුරන්) ද නුඹලා විසින් බිය ගැන්විය හැක”. (අල් කුර්ආන් 8:60)
“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. ඔහු සර්ව ශ්‍රාවකය සර්ව ඥානීය” (අල් කුර්ආන් 8:61)
අල් කුර්ආනයේ 8 වැනි පරිච්ඡේදයේ 60 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් භීතිකා ව්‍යාපාරිකයින් එම් පරිච්ඡේදයේ 58 වැනි වැකියේ සිට 61 වැනි වැකිය දක්වා වූ සන්දර්භය විමසා බලන්නේ නම් එහි නිවැරදි අර්ථය සහතික වශයෙන් ම අවබෝධ කරගනු ඇත. 60 වැනි වැකිය මගින් කරුණු දක්වා ඇත්තේ මුස්ලිම්වරුන් සමග සමාදාන ගිවිසුමකට එළඹ සිටි මුස්ලිම් නොවන්නන් ඒක පාර්ශවීය ව ගිවිසුම් කඩකොට මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට සුදානම් වීම සම්බන්ධයෙන් බව ඉතාම පැහැදිළිය. 60 වැනි වැකිය සියලුම මුස්ලිම්ව නොවන්නන්ට එරෙහි ව ඇති වැකියක් නොවන බව ඉතාම හොඳින් මෙයින් පැහැදිළි වෙයි. 61 වැනි වැකියෙන් අල් කුර්ආනය නැවතත් මුස්ලිම්වරුන්ට උපදෙස් දෙන්නේ ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් මුස්ලිම්වරුන් ද සමාදානය වෙත නැඹුරු විය යුතු බවය. 
ත්‍රස්තවාදීන්ගේ සිත්සතන් හි බිය ඇති කොට ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා වලක්වා ගැනීමට කටයුතු කිරීම නීති ගරුක රජයකත් ප්‍රජාවගේත් වගකීම හා යුතුකම වෙයි. ශ්‍රී ලංකා රජය කොටි ත්‍රස්තවාදීන් සමග සාම ගිවිසුමකට එළඹ සිටියේය. නමුත් ඔවුන් ඒකපාර්ශවීය ව එම ගිවිසුම කඩකොට හමුදා හා සිවිල් වැසියන් ඝාතනය කරන්නට කටයුතු කළහ. මේ හා සමාන තත්ත්වයක දී ගැටුම් වළක්වා ගැනීම පිණිස කළ හැකි සාර්ථකම උපාය වන්නේ සතුරාගේ සිත්සතන්හි බිය ඇතිවන අයුරු තමන්ගේ යුද සුදානම තරකර ගැනීමය. සාමාන්‍ය බුද්ධිය වත් තමන් වහන්සේට නොමැති බව ඔප්පු කරමින් ඥානසාර හාමුදුරුවෝ අල් කුර්ආනය පිළිබඳ තප්පුලෑම පිළිකුල් සහගතය. 
තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉස්ලාමය මිත්‍යාදෘෂ්ටික බවත් එය ෆැසිස්ට් නාසිවාදී දේශපාලන ව්‍යාපාරයක් බවත් එය ආගමක් නොවන බවත් ප්‍රකාශ කරති. බෞද්ධයෙකුට ඉස්ලාමය මිත්‍යාදෘෂ්ටික වන අයුරින් ඉස්ලාමිකයෙකුට බුදුදහම මිත්‍යාදෘෂ්ටික පිළිවෙතකි. එහෙයින් ඒ පිළිබඳ කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන බව සිතන්නෙමු. ඉස්ලාමය ආගමක් නොවන බව ද උන්වහන්සේ දන්වා සිටිති. එම මතය සමග අපි එකඟ වන්නෙමු. ආගම යන වචනයෙන් අර්ථවත්වන සීමාවන් අභිබවා මිනිසාගේ මිහිතලය මත ජීවිතය පිළිබඳ පරිපුර්ණ මඟ පෙන්වීමක් ඉස්ලාමය තුළ අන්තර්ගත හෙයින් ඉස්ලාමය ආගමක් ලෙස හැඳින්වීමට වඩා එය පරිපුර්ණ ජීවන සැලැස්මක් යැයි පැවසීම වඩාත් උචිතය. ආගම් නමින් ඇති අන් මතවාදයන් කෙරෙහි මෙම ලක්ෂණ ඇති බවට දක්නට නොමැත. 
ඉස්ලාමය දේශපාලන සංවිධානයක් බවට දැක්වීම උන්වහන්සේගේ බුද්ධියේ ඌනතාව හෙළිදරවු කිරීමක් විනා අන් කිසිවක් නොවේ. උන්වහන්සේගේ දෙඩවිලි අතරතුර ඉස්ලාමය ෆැසිස්ට් නාසි සංවිධායක් ලෙස දැක්වීමට වෑයම් කොට ඇත. 
ෆැසිස්ට්වාදය අර්ථ දක්වා ඇත්තේ පහත සඳහන් අයුරිනි. 
The only official definition of Fascism comes from Benito Mussolini, the founder of fascism, in which he outlines three principles of a fascist philosophy. 
1."Everything in the state". The Government is supreme and the country is all-encompassing, and all within it must conform to the ruling body, often a dictator. 
2."Nothing outside the state". The country must grow and the implied goal of any fascist nation is to rule the world, and have every human submit to the government. 
3."Nothing against the state". Any type of questioning the government is not to be tolerated. If you do not see things our way, you are wrong. If you do not agree with the government, you cannot be allowed to live and taint the minds of the rest of the good citizens. 
ඥානසාර හාමුදුරුවෝ කැඩපතක් ඉදිරියට ගොහින් සිටගන්නේ නම් ෆැසිස්ට්වාදියාගේ ප්‍රතිබිම්බයක් ඉතා පහසුවෙන් උන්වහන්සේට දැකගත හැකි වනු ඇත. බුදුදහමේ සතර බ්‍රහ්ම විහාරී ප්‍රතිපත්තිය බැහැර කරමින් අධිපතිවාදී සිංහල බුදුදහමක් ඉදිරිපත් කරන ඥානසාර හාමුදුරෝවෝ නූතන බෙනිටෝ මුසෝලීනි කෙනෙක් වශයෙන් පහසුවෙන් ම හැඳින් විය හැක. අන් දහම් හා අන් වාර්ගිකයින් නුරුස්සන මානසික රෝගී තත්ත්වයකට පත් ව ඇති ඥානසාර හාමුදුරුවන්ගේ දැනගැනීම පිණිස පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. 
“මුහම්මත්තුමාණන් විසින් නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු නියෝජිතයින් සමග ඔවුන්ගේ වස්තුව, දහම හා දෙව්මැදුරු ආරක්ෂා කිරීමට ගිවිසුමකට එළඹුනාක් මෙන් උමර් ඉබ්න් අල් කත්තාබ් තුමා විසින් ඉලියා (ජෙරුසලම) ප්‍රදේශවාසීන් සමග එළැඹි ගිවිසුමේ පහත සඳහන් අයුරින් සඳහන් කොට තිබුණි.
‘මෙය, අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වූ උමර් ඉබ්න් අල් කත්තාබ් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳ ප්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තුව, දෙව් මැදුරු, කුරුසියන් සහ සම්පුර්ණ ප්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි කිරීම සිදු නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ගේ දහම අතහරින ලෙස බල කරනු නොලබන අතර ඔවුන්ට කිසිම ආකාරයක හානියක් සිදු නොකළ යුතුය. යුදෙව්වන් ඔවුන් සමග ඉලියා හි වාසය නොකරණු ඇත’.” (Tarikh At-Tabari – Volume 3 – Page 609)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34) 
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් - 3:1392)
“(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ට ද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී) 
“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60 : 8) 
“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7 : 199)
“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු.” (5 : 8)
“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16 : 90)
“විශ්වාස වන්තයිනි, යුක්තිය ඉටුකරන්නන් වවු. නුඹලා කෙරෙහි හෝ දෙමාපියන් හා ඥාතීන් කෙරෙහි හෝ එරෙහි වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් වවු. ඔහු ධනවත් වුව ද දිළිඳු වුව ද අල්ලාහ් ඔවුන් දෙදෙනාට (රැකවරණය ලබා දීමට) සුදුසු වන්නේය. නුඹලා තීන්දු දීමේ දී මනෝ ඉච්ඡාව අනුගමනය නොකරවු. (ඔබ සාක්ෂි දීමේ දී සාක්ෂිය) වෙනස් කළේ නම් හෝ (සත්‍ය ස්ථාපිත කිරීමට) පිටුපාන්නේ නම් හෝ එවිට අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත වන්නේය” (අල් කුර්ආන් 4 : 135) 
ඉහත කරුණු ඉස්ලාමයේ ෆැසිස්ට් කම ගැන නන්දොඩවන උන්නාන්සේට තේරුම් ගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. උන්වහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහි ව අවසාන වශයෙන් කරුණු තුනක් ඉදිරිපත් කොට තිබුණි. ඒවා නම් 1. අල් තකියාව, 2. ෂරියා නීතිය හා 3. ජිහාදය වේ. මෙම ලිපිය දිග වැඩි හෙයින් ඊළඟ ලිපියෙන් එම කරුණු පැහැදිළි කරන්නට අපේක්ෂා කරන්නෙමු. 

No comments:

Post a Comment