ඥානසාර හිමියන්ගේ ආගමික දැනුම - 01

සැකසුම: ඉබ්නු මන්සූර්

2016 ජුලි මස 10 වැනි දින ඉරිදා දිවයින පුවත්පතේ 20 වැනි පිටුවේ පළවී තිබු ඥානසාර හිමියන් විසින් සිරිමන්ත රත්නසේකර සමග කළ සාකච්ඡාවෙන් බුදු දහම හා ඉස්ලාමය පිළිබඳ ව උන්වහන්සේ විසින් ප්‍රකාශිත මතයන් ගැන විමසුමක් මෙම ලිපිය මගින් කරන්නට අපේක්ෂා කරන්නෙමු. 
පළමුව බුදු දහම පිළිබඳ උන්වහන්සේගේ මතයන් සම්බන්ධ ව නැගු ප්‍රශ්න හා පිළිතුරු විමසා බලමු. 
බුදු දහම පිළිබඳ මතයන් 
ප්‍රශ්නය – ඔබ වහන්සේ ඉස්‌ලාම් ධර්මය විවේචනයට බඳුන් කරනවා. බුදුදහම අනුව අනෙක්‌ ආගම් විවේචනය කරන්න පුළුවන්ද?
පිළිතුර – පැහැදිලිවම ඔව්. කාලාම සූත්‍රය අනුව ඕනෑම ආගමක්‌, ධර්මයක්‌, ශාස්‌තෘවරයකු ප්‍රශ්න කිරීමට අපට හැකියාව තිබෙනවා. ගෞතම බුදුරදුන් උන්වහන්සේගේ ශාස්‌තෘත්වය ගැන ධර්මය ගැන විමසන්න ප්‍රශ්න කරන්න ඉඩ හසර ලබා දී තිබෙනවා.
ප්‍රශ්නය – මිථ්‍යාදෘෂ්ටියට කෙරෙහි නැඹුරු වීම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර ඇත්තේ කෙසේද?
පිළිතුර – උන්වහන්සේ පාසාදික සූත්‍රයේ වදාළ ඇත්තේ තම ශ්‍රාවකයෙක්‌ මිථ්‍යාදෘෂ්ටියට ගොදුරුවීමට ඉඩ හරින එක තරම් තවත් පාපයක්‌ නැහැ කියලයි. ඉතින් අපි කරන්න ඕනා අසාද්a සාලි හා මුස්‌ලිම් කවුන්සිලය කියන එකද? එසේ නැතිනම් අපේ ශාස්‌තෘවරයා වදාළපු දෙය ද? මේ ගැන ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක්‌ නැහැ. දීඝ නිකායේ වාසෙට්‌ට සූත්‍රය, අම්බට්‌ඨ සූත්‍රය, අස්‌සලාල්‍ය සූත්‍රය, මජිජිම නිකායේ පාසාදික සූත්‍රය යන සූත්‍රයන්හි මිථ්‍යාදෘෂ්ටිකයන් පරාජය කරන්නේ කෙසේද කියා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්‌වා තිබෙනවා.
පළමුව කාලාම සුත්‍රය පිළිබඳ උන්වහන්සේ ඉහතින් දක්වා ඇති මතයන් එම සුත්‍රයේ අන්තර්ගත නොවන බව අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමු. බුදුන්ගේ ධර්මය විකෘති කරමින් බෞධයින් ව උද්වේගයට පත්කරවන්නට දරන මෙම කුමන්ත්‍රණකාරී ව්‍යායාමය හෙළා දැකිය යුතුව ඇත. 
ඉහතින් ඥානසාර හිමියන් දීඝ නිකායේ වාසෙට්ඨ සුත්‍රයක් ගැන සඳහන් කරති. දීඝ නිකායේ වාසෙට්ඨ සුත්‍රයක් දක්නට නොමැත. වාසෙට්ඨ නමින් පිටකාගත සුත්‍රයන් දැකිය හැකි ස්ථානයන් පහතින් නම්කොට ඇත්තෙමු. 



1. මජ්ජිම නිකාය - බ්‍රාහ්මණ වග්ගයේ - මෙම සුත්‍රය තාරුක්ඛ සුත්‍රය නමින් ද හැඳින් වේ. 
2. සුත්ත නිපාතය - මහා වග්ගය 
දීඝ නිකායේ අස්‌සලාල්‍ය සූත්‍රයක් ගැන සඳහන් කරති. එවැන්නක් ද දක්නට නොමැත. උන්වහන්සේ මජ්ජිම නිකායේ පාසාදික සුත්‍රයක් ගැන කතා කරති. එයද එහි දක්නට නොමැත. පාසාදික සුත්‍රය දීඝ නිකායේ 29 වැනි සුත්‍රයයි. දීඝ නිකායේ (29 වන සුත්‍රය) පාසාදික සුත්‍රයේ නිගණ්ඨනාථ පුත්තයන්ගේ අභාවය, ඉන්පසු එම සසුනෙහි අවුල් වියවුල් ඇතිවීම, සම්බුදු වරුන්ගේත් සම්බුදු නොවන ශාස්තෘන්ගේත් ශාසනයන් හි ස්වභාවය, එම ධර්ම මාර්ග අනුගාමිකයින්ගේ ස්වභාවය ආදිය විග්‍රහ කරන සුත්‍රයකි. 

එහෙයින් ගෞරවනීය ඥානසාර හාමුදුරුවනේ! අන් අයගේ දහම් විවේචනය කරන්නට පෙර තමන්ගේ දහම පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගැනීම වඩාත් උචිත යැයි ඔබවහන්සේ වෙත දන්වා සිටින්නට කැමැත්තෙමු.
බුදුන් විසින් දේශිත කාලාම සුත්‍රය අංගුත්තර නිකායේ මහාවග්ගයේ එන පස්වන සුත්‍රය ය. බුදුසමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශාස්ත්‍රීය මට්ටමින් තර්ක කරන වියත් අය මෙන්ම ඕනෑම කරුණක් ගැන ස්වාධීනව සොයා බලා නිවැරදි යැයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදුසමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සුත්‍රය ය. එම සුත්‍රයේ සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

1. අනුන් කී පමණින් පිළිගත යුතු නැත (මා අනුස්ස වේන)
2. පරම්පරාවෙන් පැවත එන නිසා පිළිගත යුතු නැත (මා පරම්පරාය)
3. මෙය මෙසේ විය යුතු යැයි සිතා පිළිගත යුතු නැත (මා ඉතිකිරාය)
4. තම ආගමික පොතට එකඟ බැවින් පිළිගත යුතු නැත (පිටක සම්පදානේන)
5. තර්කානුකුල වූ පමණින් පිළිගත යුතු නැත (මා තක්කහේතු)
6. න්‍යාය අනුව වූ බැවින් පිළිගත යුතු නැත (මා නය හේතු)
7. මේ ආකාරය යහපතැයි සිතා පිළිගත යුතු නැත (මා ආකාර පරිචිත්තකේන)
8. අප පිළිගත් දෘෂ්ටියට ගැළපේ යැයි සිතා පිළිගත යුතු නැත (මා දිට්ඨි නිඡ්ඤාණන් ඛන්තියා)
9. මොහු උගතෙකු නිසා පිළිගත යුතු නැත (මා හබ්බ රූපකාය)
10. අපගේ ගුරුවර ශ්‍රමණයා කී පමණින් පිළිගත යුතු නැත (මා සමණෝ ගරු)
මෙසේ වදාරා ‘යමක් පිළිගත යුත්තේ ඒ ගැන සිතා බලා, එය අකුසලයට නැඹුරු වේ ද ධර්මයට අනුකුලවේදැයි සලකා යහපතට හිත පිණිස වේ යැයි වැටහේ නම් එය පිළිගත යුතු වේ’. 

මෙහි අන් දහම් විවේචනය කිරීමට දී ඇති සඳහන උපුටා දක්වන ලෙස ඥානසාර හිමියන් වෙත අභියෝග කරන්නට කැමැත්තෙමු. මෙම සුත්‍රය පිළිබඳ බෞද්ධ වියතුන්ගේ ද විවේචන ඇති අතර ඒ පිළිබඳ විග්‍රහයක යෙදෙන්නට මෙහි දී අදහස් නොකරන්නෙමු. නමුත් සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්‍රයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. 

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ” 

ඥානසාර හාමුදුරුවෝ අන් දහම් හා ශාස්තෘන් පදනම් විරහිත ලෙස විවේචනයට ලක් කරමින් කරන්නා වූ විකෘති අදහස් දැක්වීම් බුදුන් දේශිත දහම නොවන අතර එය දෙව්දත් දහම බව ඉතා පැහැදිළි අයුරින් සනාථ වෙයි. 

මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක් වනු නොඅනුමානය. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝධීන්ද යන්නද සැක සහිතය. බුදු දහම ම්ලේච්ඡ, අන් දහම් නොඉවසන හා ත්‍රස්තවාදී දහමක් ලෙස මෙම ක්‍රියාකාරකම් මගින් ලෝකයා හමුවේ අනිවාර්යයෙන්ම මතයක් ගොඩනැගෙනු ඇත. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ. පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු..

අක්කොච්ජි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනය්හන්ති 
වෙරං තේසං න සම්මති
අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ. 

අක්කොච්ජි මං, අවධි මං,
අජිනි මං, අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වේරං තෙපු පසම්මති 
අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ. 

න හි වෙරෙන වේරානි 
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති 
එස ධම්මො සනන්තනො 
අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි. 
තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත. එය එසේ තිබියදී අද අප නියැලෙමින් සිටින්නේ තවත් භයානක ව්‍යසනයකට රට ඇද ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියක නොවේද?

පශ්චාත් යුද කාල වකවානුවේ ඉන්නාවූ අප ඉදිරියේ ඇති අභියෝග මොනවාද?
යුද්ධයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරීමේ ගැටළු
ඔවුන් මුහුණ පාන නිවාස, ජීවනෝපාය, සෞඛ්‍ය, අධ්‍යාපන ගැටළු
මුළු රටටම බලපාන අයුරින් ඇති ආර්ථික හා මුල්‍යමය ගැටළු
සාමකාමී ශ්‍රී ලංකාවකට දැරිය නොහැකි තරම්වූ විශාල හමුදාව සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කොට සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන්හි රැකියා ලබාදී හමුදාවේම කොටසක් ලෙස තබා ගැනීමේ ගැටළු
යුද පෙරමුණේ මව්බිම වෙනුවෙන් ජීවිත පුජාකළ හා අංග විකලත්වයට පත් වීරෝධාර රණවිරු පවුල් වලට ජාතියේ නය ගැති භාවය වෙනුවෙන් කලයුතුවූ වගකීම් පිළිබඳව වූ ගැටළු
ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කොට සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කිරීමේ ගැටළු
සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනවාර්ගික කොටස් අතර බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩ නැගීමේ ගැටළු
ජාත්‍යන්තරයෙන් නිමක් නොමැතිව තවමත් මතුවෙමින් තිබෙන්නාවූ අවලාද පිළිබඳව දේශපාලන භේදයකින් තොරව ගරු ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමේ ජාතික සම්මුතියක් ගොඩ නැගීමේ ගැටළු 
ඉහත සියළු අභියෝග විසදීම සඳහා මැදිහත් වන විදේශ බලවේගවල සැඟවුණු අපේක්ෂා හඳුනා ගැනීමේ ගැටළු
ඒ මැදිහත්වීම් දේශීය අවශ්‍යතා අනුව අනුහුරු කර ගැනීමේ ගැටළු
මෙවන් අභියෝග ඉදිරියේ මුළු රටම තම චිත්ත ධෛර්ය හා අධිෂ්ඨානය ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදෙමින් විසදුම් සොයන්නට නියැලෙන අවස්ථාවක නැවත වෛරය හා විසම්මුතියක් ගොඩ නගන්නට බුදුන්වහන්සේව හා බුදු දහම කඩතුරාවක් කරගනිමින් කරන්නාවූ ද්‍රෝහී ක්‍රියාවන් පිළිබඳව කිසිම භේදයකින් තොරව සියළු ලාංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවී ඇති මහා නාහිමිපාණන් වරුන් විසින් ජන විඥාණය සුවපත් කොට වෛරයෙන් බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් ඇමතීමේ කාලය දැන් එළඹ තිබෙනවා නොවේද? 


ඥානසාර හිමියන් විසින් දැක්වූ ආගමික අදහස් ගැන තවත් විමසුමක් මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. . 

No comments:

Post a Comment